Monday, November 29, 2021

සෞර්දර්‍ය කලාවන් වල වැදගත්කම

 මිනිසා විසින් හැඩ හැඩගන්වා ගනු ලැබූ අන් සෑම කලාවක් මෙන් නාට්‍ය කලාව ද ප්‍රාග් ඓතිහාසික යුගයෙහිම නිපදවාගත් කලාවකි. එහි ප්‍රභවය කුමන හේතූන් කරණ කොටගෙන කුමන කාලයකදී සිදුවී දැයි නිරාකරණය කිරීම අතිශයින් දුෂ්කරය.

 මිනිසා කලාව දෙසට නැඹුරු වූයේ ඔහුගේ සහජ ලැදියාවන් ගේ බලපෑම නිසාය.  පස ඉඳුරන් පිනවීම මිනිසාගේ ජීවන චක්‍රය හැඩගැන්වීමෙහිලා මූලික වූ බලවේගයකි. ම්ලේච්ඡ මිනිසා පමණක් නොව තිරිසනාද ඇස්, කන්, නාසාදිය පිනවීමේහි නිරත වන බව විද්‍යාඥයින්ගේ පරීක්ෂණවලින් පෙනී යයි.

 ඇත්ගොව්වාගේ වස්දඬු වැයුම් අසා මෙල්ලවන ඇතත්, වැද්දාගේ මිනි හඬට අවනත වන මරණය කරා එන  මුවාත්, මවගේ සුමිහිරි නැළවිලි ගීයට  අවනත ළදරුවත් එක ලෙසම විදහා පානුයේ සංගීතය කෙරෙහි ඇති ආශාවයි.

 ඇස පිනවීමට චිත්‍ර කලාව බිහිවූ අතර කන් පිනවීමට විශ්ව භාෂාවක් ලෙස  සංගීතය, කවිය, වාදනය, ගීතය බිහි විය. ඇසත් කනත් එකවිට පිනවීමට, සැනසීමට, නර්තනය නම් වූ විශිෂ්ට කලාව බිහි විය.

                                                    Image copyrights : fine art America


සෑම නාදයක් ම සෑම අංග චලනයක් ම ඉඳුරන් පිනවීමේහිලා උපයෝගී නොවන බව මෙහිලා සැලකිය යුතු කරුණකි.

 ස්වභාවික සිද්ධියත් කලාවත් අතර පවත්නා වෙනස නම් කලාව රිද්මයක් නැතහොත් අර්ථයකින් ඇතිවන පරිදි ප්‍රයත්නයෙන් හැඩගස්වා ගැනීමයි. එයම වදන්වලින් කියවෙත හොත් මිනිසාගේ රුචිකත්වය අනුව පිළියෙළ කොට ගත් වර්ණ හෝ නාද මඟින් ද වචන හෝ අදහස් මගින් ද හැඩගැන්වූ සමූහය කලාවයි.

කලාව නිපදවන්නා ගේ රුචිකත්වය කලා කෘතියේ අගය දියුණු කරයි. එසේම කලාවෙහි රසවිඳින්නාගේ රුචිකත්වය එම අගය වටහා ගැනීමට ආධාර වේ.

                                                                             Image copyrights : shutterstock.com


ඉතා ඈත යුගයෙහි සිටම මිනිස් සමාජය කලාකෘති නිපදවීමේ  දස්කම සහජ වාසනාවක් ලෙස ලබා ගත් පිරිසක් සිටින බව පෙනේ. සංගීතය කලාවක් මෙන් ම ඔවුන් අතර ප්‍රචලිත වූ බවට සාක්ෂි ඉදිරිපත් කිරීම දුෂ්කර වුවත් ඔවුන්ගේ කලා රසිකත්වයන් පිළිබඳ හැඟීමක් ගුහා සිතුවම් වලින් ලබාගත් හැක. මෙසේ කලාකෘති නිෂ්පාදනයෙහි නියැළුණු පිරිස් අන්‍යයන්ගේ විනෝදය සඳහා සිය නිර්මාණ ශක්තියෙහි  යෙදූහ.

මිනිසා කලාව උපයෝගී කොට ගත්තේ හුදෙක් විනෝදාස්වාදය සඳහා ම නොවේ. දිවිපෙවෙතෙහි කම්කටොලු සැහැල්ලු කර ගැනීමට හෝ කලාව පිහිට කොට ගත්තේය. 

මහ රෑ ගැල පදවන ගැල් කරුවා කරත්ත සීපදය මුර ගා ගයන්නේ ගමනෙහි කාන්සිය මගහරවා ගැනීමටත් නිදිබර ගතිය දුරු කර ගැනීමටත් ය. එසේම පාරු කාරයා "දමා තැල්ල ත්‍රිහිටි තිගොයි" යන වාරම කියන්නේ සිය කාන්සිය මඟහරවා ගැනීමටයි. ගොයම් කපන දැරියන් හා ගම්මුන් කවි ගයමින් උඩැක්කි, බුම්මැඩි හෝ බෙර තාලයට පාද තබන්නේ ගීතයෙහි වූ රිද්මයෙන් මෙන්ම අංග චලනයන් පිලිබඳ රිද්මයෙන්ද සිය විඩාව පහ කරගත හැකි බැවිනි. රිද්මයානුකූල චලනය වෙහෙස දුරුකර ගැනීමෙහිලා ඉමහත් ආධාරකයකි.

මෙම මංගල්‍යයන් පැවැත්වීමෙන් අද සමාජයේ නර්තනයට හිමිවී ඇති ස්ථානය තව තවත් වැඩි දියුණු වේ. එමෙන්ම මෙවැනි මංගල්‍යයක් තුලින් නර්තනය හදාරන ශිල්පීන් හට ඉතා උසස් තැනක් ලැබෙයි. එමෙන්ම මෙම කලාව සමාජයේ ඉතා උසස් තත්ත්වයකට පත්වීමට  බොහෝ සෙයින් වැදගත් වේ.

 කාර්මීකරණය වෙමින් පවතින ලොව තුල මෙවැනි උතුම් කලාවන් මතුවටත් රැක ගැනීමෙහිලා මෙය මහත් රුකුලක් වෙතැයි අප විශ්වාස කරමු.


                                         Image copyrights :  Wikipedia 


ඓතිහාසික තතු

 මෙහි ප්‍රභවය ගැන සොයන්නෙකුට පළමුවෙන්ම හමුවන්නේ මේ පිළිබඳව නළුවන් අතර ප්‍රචලිතව පවත්නා පුරාවෘත්ත සමූහයකි. ඉතාමත් චමත්කාර ජනක කතාව වූ, කලී විෂ්ණු පුරාණයෙහි හා ස්කන්ධ පුරාණයෙහි එන "තාරකා සුර" කතාවය. එහි තාරකා හා විෂ්ණු දෙවියන් අතර  යුද්ධයේ සමාදානයක් පිළිබඳව තොරතුරු ගැබ්ව ඇත. සමාදානය නිමිතිකොටගෙන දෙසතියක් තුළ ම උත්සව පැවැත්විය. එහිදී කුල්මත් වූ රාජකීයයන් පවා  උමතුවෙන් නැටූ බව කියවේ.

රාවණා රජු පිළිබඳව කතාවක නාට්‍ය පිළිබඳව රසවත් කරුණු කිහිපයක් ගැබ්ව ඇත. රාවණා රජු ශිව භක්තිකයෙකු විය. නාට්‍යයට අධිපති වූ නටරාජා, නාට්‍යප්‍රිය, නටේශ යනාදී අපර නාමයන්ගෙන් හඳුන්වනු ලැබූ ශිව දෙවියන්ගේ නැටුම් පිළිබඳව ඒ රජු කුහුලක් දැක්විය. හේ ශිව දෙවියන්ගේ නැටුම් අටද, අර්ධ නාරි නැටුම ද දැන සිටියේය. එහෙත් "උග්‍ර තාණ්ඩව" නම් වූ නැටුම හැදෑරීමට ඉඩක් නොලැබුණි. ඊට හේතුව වූයේ එය උමයංගනාවන්ගේ විනෝදය සඳහා නැටූ නැටුමක් හෙයින් අන්‍යන්ට දකින්නටවත් ඉඩ අවකාශ නොදුන් නිසාය. "බහුරී" යන නමින් ද හැඳින්වෙන මේ නැටුම ක්‍රමයෙන් උග්‍රත්වයට පත් වන්නකි. 

අතිශයින්ම උග්‍රත්වය පත් වූ අවස්ථාවේ දී ශිව දෙවියා එක අතකින් උඩැක්කිය වයමින් වම් පායෙහි මාපට ඇඟිල්ලෙන් සිටගෙන දකුණු පය වම් දණහිසට කෙලින් ඔසවා දකුණු පසට බඹරයක් ලෙස කැරකැවෙයි. මේ දුර්ලභ නැටුම් පවා රාවණා රජු විසින් ඉමහත් ආයාසයෙන් උගත් බව කියැවේ. 

එපමනක් නොව වරක් උග්‍ර තාණ්ඩව හෙවත් බහුරී නැටුමේ යෙදී සිටි ශිව දෙවියන්ට විහිළුවක් කොට ඉන්න ඇති වූ දේව කෝපය සංසිඳුවීමට නාට්‍ය වර්ණනා කරමින් ශිව තාණ්ඩව ස්තෝත්‍ර නම් ගීතිකා පංතිය ද රචනා කළේය.

මේ කතා දෙකෙන් ම පිළිබිඹු වන්නේ ප්‍රාග් ඓතිහාසික යුගය හා සම්බන්ධ වූ තොරතුරුය. එවැනි කතා නොයෙක් පළාත්වල නොයෙක් ආකාරයට ප්‍රචලිතව ඇත. මේවායේ ප්‍රධාන රසය අද්භූත රසයයි.




මෙරට ඓතිහාසික යුගයට අයත් වන පැරණිතම කතා කතන්දරය ලෙස සඳහන් වන්නේ විජය රජුගේ යක්ෂ පරාජය  පිළිබඳ පුවතයි. කුවේණිය සිය බිරිඳ ලෙස සරණ පාවා ගත් විජය රජුට රෑ තූර්ය නාදය හා ගීත නාදය ඇසී ඒ කුමක්දැයි ඇසූ කල්හි යක්ෂයන්ගේ විවාහයක් නිමිත්තෙන් පැවතුන උත්සවයකින් නිකුත්වන ඝෝෂාවක් බව ප්‍රකාශ කරනු ලැබී ඇත. විජයාගමනයට පෙර මෙහි විසු යක්ෂයන් විසින් පවා නාට්‍ය හා සංගීතය යන කලාවන් දියුණු කොට ගෙන සිටි බව මේ කතාවෙන් පැහැදිලිය. 

උඩරට නැට්ටුවන් නිතර සිහි කරන්නා වූ, ද සිංහල ගැමි දිවියෙහි මැනවින් පිළිබිඹු වී  ඇත්තාවූද ඉතාමත්ම වැදගත් පුරාවෘත්තයේ වනාහි පඬුවස්දෙව් රජුගේ දිවි දෝශය පිළිබඳ කතාවයි එය 12 වන සියවසෙහි දී පමණ ලියන ලද කුවේණී අස්නෙහි මැනැවින් රචනා කොට ඇත.

මෙවැනි පුරාවෘත්ත පිරික්සීමෙන් උඩරට නාට්‍යයෙහි ප්‍රභවය පිළිබඳ නිගමනයකට එළඹීම අපහසු වුවත් මෙයින් කරුණු කිහිපයක් පැහැදිලි වන්නේය.  එනම්,

  1. ලක්වැසි විසූ අනන්‍ය ජාතීන්ගේ සමාජය ද සංගීතය හා නාට්‍යය විනෝදාස්වාදය ගෙන දීම සඳහා මංගල අවස්ථාවලදී උපයෝගී කර ගනු ලැබීය.
  2.  මෙරට ගායනය, නාට්‍ය, ශාන්තිකර්ම විධි අතීත චාරිත්‍ර සමඟ නර්තනය දියුණු වූ බව.
  3.  මේ ශාන්තිකර්ම බෞද්ධ ආගමේ එන පිළිවෙත් වලට ඉඳුරා වෙනස් වූයේ බෞද්ධ යුගය ම පූර්වයෙහි දීම පැවති ඇදහීම් මඟක් පිළිබිඹු කරයි.
  4.  සිංහල නාට්‍යයෙහි වැඩිමට ප්‍රධාන හේතුව ලෙස ගැනිය හැකි කොහොඹා කංකාරිය, දෙවොල් යකුම  යනාදී ශාන්තිකර්ම සිංහලයන්ගේ පැමිණීමට පෙර පවා මෙරට බලපෑ පිළිවෙත්ය.
මෙසේ බලන කළ උඩරට නර්තනයට අපේ රටේ විශේෂ තැනක් හිමි වී ඇත.

අතීතයේදී මෙන්ම දී මෙන්ම මෑත කාලයේ දී ද උඩරට නර්තනයට ඉතා සුවිශේෂී තැනක් හිමිවේ. 1919 වර්ෂයේ දී මහනුවර නුගවෙල මහදිසාව මහනුවර දළදා පෙරහැරට උඩරට වෙස් නැටුම එක්කිරීම දේශීය නර්තනය වැදගත් සිද්ධියකි. ශ්‍රී ලංකාවේ නව සංස්කෘතික පිබිදීම ආරම්භ වූයේ 1930 දශකයේ ය .  මහා කවි තාගොර් තුමා ශාන්ති නිකේතනය ආරම්භ කිරීමත් සමඟම භාරතයේ ඇති වූ සංස්කෘතික ප්‍රබෝධය ශ්‍රී ලංකාව කෙරෙහි බලපාන්නට ප්‍රධානම හේතුව වූයේ එතුමාගේ ශ්‍රී ලාංකීය සංචාරයයිතාගොර් තුමා ප්‍රථමවරට ශ්‍රී ලංකාවට පැමිණියේ 1922 වසරේ ඔක්තෝබර් මාසයේදී ය1934 වසරේදී එතුමා දෙවන වරට ශ්‍රී ලංකාවට පැමිණියේ නර්තන කණ්ඩායමක් සමග ය.



ශාන්ති නිකේතනය
Copyrights : දිනමිණ  


 රවීන්ද්‍රනාත් තාගෝර්තුමා


 රීගල් නර්තන ශාලාවේ එම කණ්ඩායම ඉදිරිපත් කළ "සාප් මෝචන්" මුද්‍රා නාට්‍යය මෙරට කලාකරුවන් කෙරෙහි මහත් බලපෑමක් ඇති කරන්නට සමත් විය. මෙම පිබිදීමෙහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික කලාකරුවෝ ශාන්ති නිකේතනයට හා ඉන්දියාවේ වෙනත් ආයතන වලට ගොස් භාරතීය සංගීතය හා නර්තන කලාව හැදෑරීමට ඉදිරිපත් වූහ. සූර්යශංකර්, චිත්‍රසේන, ප්‍රේමකුමාර, වසන්ත කුමාර, ශේෂා පලිහක්කාර, පණිභාරත  එසේ භාරතීය කලාවන් ප්‍රගුණ කිරීමට භාරතයට ගිය අය අතරින් කිහිප දෙනෙකි.


පණිභාරත  මහතා

                             Image Copyrights : Sri Lanka design festival

චිත්‍රසේන  මහතා

ශේෂා පලිහක්කාර මහතා
 Image Copyrights : E - Thaksalawa

       

තාගෝර්තුමාගේ මුද්‍රානාට්‍යවල කාන්තාවන් ඉදිරිපත් කළ ආකර්ෂණීය නර්තන දේශීය කාන්තාවන් තුළ නර්තනය කෙරෙහි මෙතෙක් පැවති ආකල්ප වෙනස් කිරීමට තරම් ප්‍රබල විය. මේ සම්බන්ධයෙන් ප්‍රමුඛතාවය ගෙන ක්‍රියා කළ කාන්තාවන් දෙදෙනෙකි. කලාගුරු ජේ. ඩී. ඒ. පෙරේරා මහතාගේ බිරිඳ වන චන්ද්‍රලේඛා මැතිනියත් ,  මේරියන්ස් පීරිස් (මේරියන් ද සොයිසා) නැමැති තවත් ප්‍රභූ කාන්තාවකුත් උඩරට නර්තනය ප්‍රගුණ කර ප්‍රසිද්ධ වේදිකාවල නර්තනය ඉදිරිපත් කිරීම මගින් කාන්තා නර්තනය පිළිබඳව පුරෝගාමී මෙහෙවරක් කිරීම මෙම යුගයේ සිදු වූ වැදගත් කරුණකි.  

ප්‍රථම වරට හිස්වෙස් බැඳි  කාන්තාවන් දෙදෙනෙකු ලෙස චන්ද්‍රලේඛා මැතිනිය හා මේරියන්ස් පිරිස් මැතිණිය ඉතිහාසයට එක් වී ඇත.


 Image Copyrights : Gallery SS Facebook

 මෙසේ බලන කල  වෙස්මංගල්‍යය හා පායිම්පත් මංගල්‍යය පිළිබඳව ඉතිහාසයේ තොරතුරු වාර්තා වේ. ශ්‍රී ලංකාවේ වෙස් මං මංගල්‍යයන් හා පායිම්පත් මංගල්‍යය බෞද්ධ ආගමට ම සීමා වුවක් ලෙස ඉතිහාසයේ සිටම පැවත එයි. මෙම මංගල්‍යයන් වල සියලු චාරිත්‍ර වාරිත්‍ර හා එමෙන් ම පවත්නා ස්ථානය වන්නේද පන්සලයි.



නමුත් මෙම චරිත් චාරිත්‍රය බිඳහෙළමින් බෞද්ධයාට පමණක් නොව අන්‍යාගමිකයන්ට ද මෙම ඉතා අගනා ශාස්ත්‍රයෙහි කෙළ පැමිණිය හැකි බව පසක් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට වෙස් බැඳි මුස්ලිම් නර්තන ශිල්පියා බිහි විය.

නර්තන කලාව

ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකාව දියුණු සංස්කෘතියකට හිමිකම් කියූ රටකි. පරම්පරාවෙන් පරම්පරාවට උරුම වූ ජනප්‍රවාද ශ්‍රී ලංකාවේ නර්තනය පිලිබඳ බොහෝ තොරතුරු අපට සපයයි. 

කිසියම් රටක දියුණු සංස්කෘතියත්, සහ්‍යත්වයත් පවතින්නේ නම් එම රටේ දියුණු නර්තන ක්‍රමයක් පැවතීම අනිවාර්‍ය වූවකි. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ලෙස බොහෝ කාලෙක සිට පැවත එන උඩරට නර්තන සම්ප්‍රදාය මුළුමහත් ලෝකය තුළම කීර්තියට පාත්‍ර වූවකි. 

යම් කෙනෙකු මේ උසස් වූ ශාස්ත්‍රය ඉගෙනීම වත් ඔහුගේ ජීවිතය  බබලවන්නකි. "තෙයි තෙයි" පාගමින් උඩරට ශ්‍රාස්ත්‍රය ඉගෙනීමට පැමිණෙන ආධුනිකයා ක්‍රමයෙන් පා සරඹ, ගොඩ සරඹ, වන්නම්, කස්තිරම. අඩව් අල්ලමින් ඉගෙන ගත්තා වූ ඒ උසස් ශාස්ත්‍රයේ කලඑලි බැස්ම නම් ඔහුගේ හෝ ඇයගේ ජීවිතය තුළ ප්‍රදීප්තවත් වු මංගල්‍යයකි.